3. අරඹමු.






බොන්සායි සඳහා පැලයක් තෝරා ගැනීම.

මේ සඳහා විධි කිහිපයකි. ඒ එක් එක් ක්‍රමයේ වාසිද  අවාසිද වෙයි. 
 
කුමන ක්‍රමයට තෝරා ගත්තත් එහි මූලික හරය එකම වන අතර ඇරඹුමේදී යම් යම් වෙනස් කම් සහිත වෙයි. එහෙත් ඒ සෑම විධියකින්ම ඇරඹෙන බොන්සායි පැල සියල්ල අවසන යම් තැනකදී එකම තාලයකට එකම රීති පද්ධතියකට නතු වෙයි. අනතුරුව ඒ සියල්ල හැසිරවිය යුත්තේ එකම විදිහට ය.

බීජ පැල.

බීජයේ සිට ඇරඹුමේදී එය බොන්සායි නිර්මාණයක් බවට පත් කිරීම සඳහා ගතවන කාලය විශාලය. එමෙන්ම වඩා වැඩි නිපුණතාවක්ද ඉවසීමක්ද තිබිය යුතුය. එලෙස සාදා ගනු ලබන බොන්සායි නිර්මාණය අන් ක්‍රමයකට සාදා ගන්නා බොන්සායි නිර්මාණයකට වඩා කෙනෙකුගේ හදවතට සමීප වන්නේ බීජයක සිට එක් පෙත්තක්, දෙපෙත්තක් ආදී වශයෙන් බොහෝ අවදි පසු කරමින් එය සිය දෑස ඉදිරියේම වැඩුණු බැවිනි. 

හරියට තමන්ගේම දරුවෙකු කෙරෙහි ඇති සහ අනුන්ගේ දරුවෙකු හදා ගන්නා විට ඇති සෙනෙහසේ වෙනස වැනි එකකි. 

ඒ නිසා වඩාත් හෘදයාංගම බොන්සායි නිර්මාණය වන්නේ බීජයකින් ලබා ගත් පැලයක් බොන්සායි නිර්මාණයක් බවට පත් කිරීමෙන් බව කෙනෙකු කියන්නේ නම් ඊට කාටවත් විරුද්ධ විය නොහැකිය. එහෙත් ඒ මතම දැඩිව එල්බගෙන බොන්සායි සඳහා පැළයක් ගත යුතු එකම අයුර මෙයය යනුවෙන් දැඩිව එල්බගෙන සිටින අය ය සිය දැඩි බව ලිහිල් කර ගත යුත්තේ. මක් නිසාද යත් ඔනෑම රටක බොන්සායි සඳහා පැළ සපයා ගන්නා අකාර රැසක් පවතින බැවිනි. මේ බීජ පැලයට අමතරව තවත් විදි රැසක් ගැන මෙහි ඔබට කියැවෙයි.

බීජ පැලයක් පළමු වසරක පමණ කාලයක් කප්පාදුවකින් තොරව වැඩෙන්නට හරී. දෙවන වසර ඇරඹුමේදී පමණ එය නව බඳුනකට යොමු කරණු ලබයි. එහිදී පහළට සෘජුව වැඩෙන මුදුන් මුළ ඉවත් කිරීමත් සමගම ශාකය සිය පාර්ශ්වික මූල මණ්ඩලය වඩාත් ශක්තිමත්ව සාදා ගැනීමට පෙළඹේ.
 Image result for cutting tap root of a bonsai pics

තවත් වසරක් පමණ අතු පතර කප්පාදුවකින් තොරව වැඩෙන්නට හැර තෙවන වසර ඇරඹුමේදී පමණ අතු පතර කප්පාදුව ඇරඹිය හැකිය. හීනි කඳක් මහත කඳක් බවට පත් වීමට මේ අතුපතර පැවතීම වැදගත් ය. එබැවින් ඒවා අඟල් 7-8ක් පමණ දක්වා වැඩෙන්නට හරී. අනතුරුව කප්පාදු කරයි. එලෙසින් අලුත් අතු ඉති වැඩෙන්නට වැඩෙන්නට ප්‍රධාන කඳේ වර්ධනයද ප්‍රධාන අතු වල වර්ධනයද වැඩි වේ.

අතු කප්පාදු කිරීමත් සමගම ඒ අතුවල දිශානතීන්ගේ වෙනස් කම් ඇතිවේ. හේතුව කප්පාදු කළ ස්ථානය අසලින් නව අංකුර මතුව අතු සේ වැඩීමයි. ඒවා වැඩෙන්නේ මුල් දිශාවට යම් ආනතියක් සහිතවය. කප්පාදු කිරීම දිගින් දිගට සිදු වන විට අංකුර අතර ඇති පරතරය ක්‍රමයෙන් අඩුවෙන්නා සේම ඒවායින් එන පත වල ප්‍රමාණයද ක්‍රමයෙන් අඩු වේ. එනම් කුඩා පත්‍ර හට ගැනීම සිදු වේ.

බීජ ශාකයක් කෙළින්ම බඳුනක පැළ කිරීමට වඩා ගෙවත්තේ පැළ කර පසුව ගලවා ගැනීමෙන් ඉක්මණින් වර්ධනය කර ගත හැකිය. නොඑසේ නම් වඩා විශාල බඳුනක සිටුවා පසුව අපට අවශ්‍ය කුඩා බඳුනක සිටුවා ගත හැකිය. ඒ අවස්ථාවන් දෙකේදීම ශාකය ඉක්මණින් වර්ධනය වන බැවින් කම්බි එතීම නොකල යුතුය. එසේ කළ හොත් කම්බි වලින් අතු වලට හානි විය හැකිය. එසේ කම්බි වලින් අතුවලට දැඩිව හානි වුව හොත් ඒ කැළැල් පසුව අවලස්සනට පෙනෙනු ඇත. එය ගස කොතෙක් ලොකු වුවද මැකී නොයනු ඇත.

 Image result for dammaged to branch bark due to wiring

නමුත් කම්බි එතීම නොකළත් අවශ්‍ය වෙනත් මූලික හැඩ කිරීම් කිරීම කළ හැකිය.

මේ අයුරින් කම්බි යෙදීමෙන් හෝ බරක් එල්ීමෙන් එවැනි හැඩ ගැසීමක් කළ හැකිය.

Image result for pulling tree branches by wires on bonsai pics

වර්ධනය වන ශාකය සති තුනෙන් තුනට පමණ කප්පාදු කිරීමෙන් එහි වර්ධනය වඩාත් ඉක්මන් කර ගත හැකිය. අවශ්‍ය කාලයේදී කප්පාදු නොකර සිටීමෙන් අතු අනවශ්‍ය ලෙස මහත් වූ විට පසුව ඒවා කෙටි කළද අතු වල මුල සිට අග දක්වා මනාව සිහින් වී යාම ( Tapering ) පවත්වා ගත නොහැකිය. එවිට එහි මුල් කොටස් විශාලවත් අග කොටස් අවලස්සන ක්ෂනිකව සිහින් වූ බවත් පෙනෙනු ඇත.


අවුරුදු 2ක් 3ක් පමණ ඉක්මවූ පසු ගස නිරීක්ෂණය කිරීමෙන් එහි බොන්සායි මූලික හැඩ වලින් දළ වශයෙන් එක හැඩයකට හෝ හැඩයන් කිහිපයකට ගත හැකි බව නිරීක්ෂණය වනු ඇත අනතුරුව වඩාත් සුදුසු හැඩය කුමක්දැයි නිගමනය කිරීමට පෙර ගසේ සෑම පැත්තෙන්ම මනා අධ්‍යයනයක් කළ යුතුය. මේ සඳහා පහසු වනු පිණිස බඳුනක හෝ බෑගයක සිටවූ ශාකයක් නම් බොන්සායි සඳහාම සකසා ගත් කැරැකැවෙන මේසයක් ( Turn Table )  

Image result for BONSAI TURN TABLE

මත තබා කරකවමින් සෑම පැත්තක්ම නිසියාකාරව නිරීක්ෂණය කළ හැකිය. සුදුසු හැඩය නිගමනය ක හැක්කේ ඉන් පසුවය.

මෙසේ හැඩයක් නිගමනය කර සකසා ගෙන ගියේ වුව, ගසේ වෙනත් වයසකදී සමහර විට නිර්මාණ ශිල්පියා විසින් හදිසියේම එම හැඩය නොසිතන වෙනත් හැඩකයට මාරු කළ අවස්ථාද අපට එමට හමු වේ. බොන්සායි යනු නොනිමි කලාවක් වන්නේ එවන් කරුණු නිසාවෙනි.

බීජ පැලයක් වසර කිහිපයක් තිස්සේ බොන්සායි නිර්මාණයක් සඳහා යොදා ගැනීම තෙක් එන ගමනේ අවස්ථාවන් මෙසේ කෙටියෙන් දැක්විය හැකි වෙයි.
   


 Image result for basic shoot pruning of a bonsai in first two years pics


අතු පැල.

සමහර ගස් වර්ග අතු මගින් පැල කර ගැනීමේ හැකියාව ඇත. මේ නිසා සමහර මදක් ලොකු අතු මගින් තරමක් ලොකු පැල ලබා ගැනීමේ හැකියාව ඇති බැවින් සාප්ක්ෂව ඉක්මන් කාලයකින් සැලකිය යුතු මට්ටමක හොඳ නිර්මාණයක් වෙත යොමු විය හැකිය. තෝරා ගන්නා අත්තක් මගින් නිර්මාණයට අවශ්‍ය මූලික හැඩයක් මුලදීම තීරණය කිරීමේ හැකියාව පවා ඇත.

මේ අතු පැල කර ගැනීමට විවිධ උපක්‍රම ඇති බැවින් යම් තරමකින් ඒවා ගැනද සඳහන් කර ඉදිරියට යාම මැණවැයි සිතේ.

සමහර ගස් වල අතු පැළ වෙන්නේ කොළ පැහැති ළපටි අතු පමණි. ඒත් සමහර ගස්වල දුඹුරු පැහැති වඩා විශාල අතු පවා පැළ වේ. කොටින්ම මෝල් ගසක් පමණ ප්‍රමාණයට මහත අතු පවා සමහර ගස් වල පැලවේ. 
'
මේ තරමක් විශාල ප්‍රමාණයක අතු කැබැල්ලක් මුල් අද්දවා ගන්නා අයුරුය.

Image result for GETTING PLANTS FROM LARGER SIZE CUTTINGS PICS

කපා ගත් අතු කැබැලි වේලෙන්නට පෙර සිටවිය යුතුය. පසට යට වන කොටසේ මුල් ඇදීම උත්තේජනය කරණ හෝමෝන වර්ගයක් ගැල් විය හැකිය. සමහර ඒවා කුඩු ලෙසද  සමහර ඒවා ජෙල් වර්ග ලෙසද ඇත. 

Image result for PROPAGATING BY BROWN WOOD CUTTINGS 

අනතුරුව ඒවා වැලි අධික තෙත් කළ පසක සිටුවීම කරණු ලබයි. ඒවා එක්කෝ බඳුන් තුළ නැති නම් ටියුබ් තුළ හෝ පාත්ති වල සිටුවිය හැකිය. සිටුවා පොලිතීන් ප්‍රොපගේටරයක් තුළ ඒවා තැබීමෙන් වඩාත් හොඳ ප්‍රතිඵල ලබා ගත හැකිය.




හොඳින් මුල් ඇදි පැළ බඳුනක් තුළ හෝ ටියුබයක් තුළ නම් එයට දැරිය හැකි කාලයක් දක්වා ලොකු වන්නට තැබිය හැකිය. නමුත් පැළ කර ඇත්තේ පාත්තියක නම් ගලවා වෙනත් බඳුනකට ගත යුතුය.

තාවකාලික බොන්සායි පුහුණු බඳුන් Temporary training pots  



තුළ පැළ වැඩෙන්නට හරිමින් සීමිත හැඩ ගැස්සවීම් පමණක් කර යම් පමණකට විශාල වූ පසුව පමණක් ඒවා නිර්මාණය සඳහා සෘජුව අදාල කර ගැනීම කළ හැකිය.

ලේයර් කිරීමෙන් ලබා ගන්නා පැල.

මෙහිදී සිදුවන්නේ ගසක අත්තක පොතු වටයක් ඉවත් කර ඊට තෙමා ගත් වැලි සහ කොම්පෝස්ට් මිශ්‍ර පස් තබා හොඳින් ආවරණය වන සේ පොලිතීන් වලින් වසා තැබීමයි. සමහරුන් ඒ සඳහා වියළි පාසි හෝ වියලි කොහු බත් තෙමා වැඩි වකුර මිරිකා හැර තැබීම ද කරයි.

ශාක වර්ගයට අනුව මුල් ඇදීමට ගතවන කාලය මාසයක පමණ සිට මාස දෙක තුන දක්වා වෙනස් වේ. ලේයර් කිරීමේදී ඉහත ක්‍රමය Air layering ලෙස හඳුන්වයි. 





මේ හැර තවත් ලේයර් ක්‍රම වෙයි. එහිදී ගසක පහළ අත්තක ඉහත කී ලෙස පොතු වටයක් ඉවත් කර පසට යට වන සේ තැබීම කරයි. එවිට සමහර ශාක වර්ග පහසුවෙන් මුල් අද්දවා ගත හැකිය. 



අනතුරුව ලේයර් කළ තැනට පහළින් අත්ත කපා, ආවරණය මුල් නොකැඩෙන සේ ප්‍රවේශමෙන් ඉවත් කර සාමාන්‍ය පැලයක් සිටුවන ආකාරයට සිටුවා ගනී. මුල් දින කිහිපයේදී ගස සෘජුව අව්ව නොවැටෙන සේ තකැබිය යුතුය. පසුව ක්‍රමයෙන් අව්වට හුරු කළ හැකිය.

මෙම ලේයර් ක්‍රමයම සමහර විට අපට ගසක් කෙටි කර ගැනීමට අවශ්‍ය නම් හෝ, පසට ආසන්නයෙන් හොඳ අරීය මූල් මණ්ඩලයක් ලබා ගැනීමට අවශ්‍ය නම් ඒ සඳහාද භාවිතා කළ හැකිය. ඒ සඳහා උදාහරණය වන විඩියෝවකට යන මං පෙත් මෙහි පහත අමුණමි.


මෙම ලේයර් ක්‍රමයේදී අපට සමහර විට පරිසරයේ ඇති ගසක් තුළම අපට අවැසි බොන්සායි නිර්මාණයේ මූලික ස්වරූපයන් දැකිය හැකි වෙයි. ඒ අනුව ඊට සුදුසු ගසේ කොටස ලේයර් මගින් වෙන් කර ගැනීමෙන් පරිසරයෙන් ගස ඉවත් වීමක්ද සිදු නොවෙයි. තවද සමහර විට විශාල කඳක් සහ බෙදුනු අතු ඇති ගසක් ඉතා කෙටි කලක් තුළ ඔබට මේ ක්‍රමය මගින් ලබා ගත හැකිය.

බද්ධ පැළ -

බොනසාය සඳහා බද්ධ කිරීම මගින්ද සමහර ගස් වර්ග ලබා ගනී. උදාහරණයක් වශයෙන්, අඩු වේගයකින් වැඩෙන සමහර පයිනස් වර්ග වෙනත් පයිනස් වර්ගයක වැඩුණු කඳකට බද්ධ කිරීමෙන් බොන්සායි සඳහා සුදුසුම ගුණාංග ඇති එමෙන්ම බොන්සායි ගසට ඉතා පැරණි වැඩුණු පෙනුමක් දෙන ආකාරයේ ගසක් අඩු කාලයකින් ලබා ගැනීමේ හැකියාව ලැබී ඇත.

එමෙන්ම සමහර නුග වර්ග ද මෙවැනි බද්ධ කිරීමෙන් පහසුවෙන් ලබා ගත හැකිය.

මෙලෙස බද්ධ කිරීමෙන් ලබා ගන්නා තවත් ගස් වර්ග එමටය. එමෙන්ම යම් වැඩුණු ගසක අතු පතර පිහිටීම අපට අවැසි අයුරින් නැති නම් මුලින් සුදු ස්ථාන වලට අතු බද්ධ කර අනවශ්‍ය අතු ඉවත් කර බොන්සායි නිර්මාණය සඳහා යොදා ගත හැකිය.

මේ බෝගන්විලා වර්ගයේ කඳකට බද්ධ කිරීමෙන් අතු සාදා ගන්නා ආකාරයයි.


 Garden centre plants

පැල තවාන් වල ඇති තරමක් විශාල පැල ලබා ගැනීම බොන්්සායි ශිල්පීන් අතර ජනප්‍රිය ක්‍රමයකි.

මෙලෙසින් මිල අඩු මෙන්ම වඩාත් විශාල ප්‍රමාණයේ පැලයක් ලබා ගැනීමේ හැකියාව ඔබට ලැබෙයි. එබැවින් අවසාන නිර්මාණයේ මූලික සැකසුම් ඇරඹීම සඳහා බලා සිටීමට ගත වන කාලය අඩුය.

තවද මේ පැල ලබා ගැනීමට පෙර එම භූමියේ වට පිටාව හොඳින් නිරීක්ෂණය කළහොත් ප්‍රදර්ශනයට තබා ඇති පැල වලට වඩා ඊට පෙර තොග වල පැත්තකට දමා ඇති පැල අපගේ කාර්යය සඳහා වඩාත් සුදුසු බව ඔබට හැඟෙනු ඇත. එමෙන්ම එවැනි පැල තවත් අඩු මිලකට ඔබට ගත හැකි වනු ඇත.

මේ මවිසින් එවන් පැල අලෙවි සලක ඉවත දමා තිබූ බෙන්ජමිනා වර්ගයේ ගසක් ප්‍රයෝජනයට ගත් අවස්ථාවකි. ඇත්තටම කියන්නේ නම් මෙහි සඳහන්ව ඇත්තේ එහි එක් අවස්ථාවක් වුව, එම ගසින් නිර්මාණ තුනක් සඳහා අමුද්‍රව්‍ය සපයා ගන්නට හැකි විය.








 මෙහි අවසාන නිර්මාණයේ ඉලක්කය බොන්සායි කලාවේ Raft style ලෙසින් හඳුන්වන ඇද වැටුණු කඳකින් පැණ නැගුණු අතු කුඩා ගස් බවට පත් වන හැඩයයි.



කෙසේවෙතත් මේ පැල අලෙවි සැල් වන හෝ තවාන් වල ඇති වැඩුණු ගස් බොන්සායි කලාවට අවැසි පමණට වඩා උස ගිය ඒව වීම අවාසියකි. එහෙත් අත්දැකීම් බහුල නිර්මාණකරුවා යම් යම් උපක්‍රම භාවිතයෙන් ඒවා අවශ්‍ය ලෙස සකසා ගනී. ඕනෑම ශිල්පියෙක් අවධානයෙන්, විමසිලි ඇසින් මෙහ් රැඳී සිටී නම් සහ නිරන්තර අභ්‍යාසයේ යෙදෙයි නම් ක්‍රම ක්‍රමයෙන් මේ නිපුණතාවන්ට හිමිකම් කියනු ඇත.

වර්තමානයේ දී මේ පැල අලෙවි සැල් හිමියන් ද බොන්සායි පිළිබඳව සහ බොන්සායි නිර්මාණ වලට ඇති ඉල්ලුම, ඒවාගේ වටිණාකම ආදිය පිළිබඳව අවබෝධයෙන් සිටින නිසා සමහර විට මේ බොන්සායි සඳහා සුදුසු වැඩුණු පැළ වලට අධික මිලක් නියම කරණු දැකිය හැකි කරුණකි. සමහර විට මේ පැළ වලට බොන්සායි නිර්මාණයේ මුදල් වටිණාකමට ආසන්න මිලක් කියනු වුව දැකිය හැකිය. එවන් අවස්ථාවලදී ඊට අනුබල දීමෙන් මේ තත්ත්වය වඩාත් දරුණු විය හැකිය. කෙසේ නමුත් අපද වටහා ගත යුතු කරුණ නම් එවන් ගස් තුට්ටු දෙකට ගැනීමට උත්සාහ නොකර සාධාරණ මිලක් ගෙවිය යුතු වීමයි.


වනයෙන් හෝ පරිසරයෙන් ඉවත් කර ගන්නා ගස්-


මෙය බොන්සායි කලාවේදී යමදෝරි ලෙස හඳුන්වයි. සමහරු මේ ක්‍රියාව සඳහා යාම බොන්සායි හන්ටින් ලෙසින් හඳුන්වයි.

බොන්සායි සඳහා සුදුසු මූලික ලකුණු දරණ සහ විශාල කඳන් මුල් අතුපතර ආදිය සහිත ගස් ලබා ගැනීමේ තවත් ක්‍රමයක් වන්නේ වනයෙන් හෝ පරිසරයෙන් ගස් ගලවා ගැනීමයි. මෙන්න මේ මාතෘකාවට පැමිණි කල එය යම් යම් විවේචනයන්ට සහ විවාදාපන්න තත්ත්වයන්ට මුහුණ දෙයි. සමහරුන් මෙය සලකන්නේ වන විනාසයේම තවත් පැති කඩක් ලෙසයි. ඒ සඳහා සමහර සාධාරණ කරුණු ඔවුනට සත්‍ය වශයෙන්ම වෙයි. එහෙත් සමහර විට නිසි නොදැනීම නිසාද ඔවුන් එම මතයෙහි එල්බ සිටී. මේ නිසා මේ කාරණාවේදී බොන්සායි සඳහා පරිසරයෙන් ගස් ගලවා ගන්නා අය සේම, ඒ දෙස බලා සිට විවේචනය කරණ අයද, විමසන අයද, විරුද්ධ ඇසින් බලන අයද යන සියල්ල අවබෝධයෙන් යුතුව එය කළ යුතුය.

පරිසරයෙන් ගසක් ගලවා ගැනීමේදී නිසි අවසරයක් තිබිය යුතුය. වනාන්තරයක් නම් අවසර ඇති ස්ථාන වලින් පමණක් ගැලවිය යුතුය. සමහර ස්ථාන වල තිබෙන ගසක් ගලවා ගත්තාට පරිසරයට හානියක් නොවේ. නැතිනම් පරිසරයට වන හානිය අවමය. උදාහරණයක් ගත් විට සුවිසල් ගසක් යට වැටුණු බීජ පැල ගැන හිතන්න. ඒවා සිය ජල, පෝෂණ හා ආලෝක අවශ්‍යතාවයන් වෙනුවෙන් දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ දෙමින්  ජීවය පවත්වා ගැනීමට වෙර දරණ බව පෙනී යයි. එහෙත් එලෙසින් යා හැකි දුර සීමිතය. එවැනි තැනකින් ගසක් ඉවත් කර ගත්තාට පරිසරයට හානියක් වන්නේ නැත.

සමහර ඇහැටු බෝ වැනි අලංකාර ගස් තාප්ප මත වැවී ඇති අයුරු අපි දැක ඇත්තෙමු. කොයි යම්ම හෝ මොහොතක මේ ගස් මන්නා පහරට හසුවන බවට සැක නැත. එවැනි ගසක් ඉවත් කිරීම පරිසරයට කරන්නා වූ හානියක් නොවේ. නමුත් සමහර විවේචකයින් අර අයිතිකරුවන්ගේ මන්නා පහර ඉවසුවත්, ඒ ගස බොන්සායි රසිකයෙකු විසින් ඉවත් කිරීම ඉවසන්නේ නැත. එය වෙනමම විග්‍රහ කළ යුතු කරුණකි.

යම් ඉදිකිරීම් බිම් වල නියත මරණයට ගොදුරු වන බොන්සායි සඳහා සුදුසු වන ගස්  තිබිය හැකිය. සුළු ඉල්ලීමකින් ඒ සඳහා අවසරය ලැබෙනු නිසැකය.
මේ හැර වනාන්තරවල දැඩි පාරිසරික තත්ත්වයන්ගේ ප්‍රහාරයට ගොදුරු වන අලංකාර ගස් අප එමට දැක ඇත. ඒවා ඉවත් කරන්නේ නම් දුටු සැනින් එය නොකර එහි වන පාරිසරික හානිය පිළිබඳව වරක් දෙවරක් නොව කිහිප වරක් කල්පනා කළ යුතුය. එයට එහි දිගට පැවතිය හැකි වේද? නැති නම් එය මේ ගෙවන්නේ සිය ජීවත්වීමේ උත්සාහයේ අවසන් කාල සීමාවද යන්න අවංකව විමසිය යුතුය. තවත් කල් එහි ජීවත් විය නොහැකි ගස් නම් ඉවත් කිරීමෙන් වන හානියක් නැත. නැති නම් වන හානිය අවමය. එම හානිය ස්වභාවිකව ද සිදු වන්නට යන්නේ, එවන් ගසක් ඉවත් කිරීම පවක් නොවේ.

යම් කලාවක හෝ කලාත්මක නිෂ්පාදනයක නියැලෙද්දී සමහර විට පාරිසරික හානියක් වීම නොවැලැක්විය හැකිය. 

වේවැල් ආශ්‍රිති නිෂ්පාදන වලදී අපි වේවැල් කපන්නේ අවට කැලෑ වලිනි. එහෙත් ඉවත් කරණා වේවැල් වලට පඳුර අළුත් අංකුර නිපදවා යළි වේ වැලක් නිපදවයි. 

හේන් ගොවිතැන නිසා විශාල පරිසර හානියක් සිදුවෙයි. නමුත් එය සමහර මිනිසුන්ගේ ජීවනාලිය වන බැවින් සියයට සියයක් වළක්වා ලිය නොහැකිය.
වනාන්තර ආශ්‍රිත ප්‍රදේශවල විවිධ ඉදිකිරීම් සඳහා ද පාරිසරික හානි සිදු කරයි. එහෙත් සංචාරක ව්‍යාපාරය හෝ වෙනත් කර්මාන්ත ආශ්‍රිත කටයුතු සියයට සියයක් වළක්වා ලිය නොහැකිය. 

පිරිතකට මඟුලකට අවමඟුලකට ගොක් අත්තක් කැපීමත් හානියකි. නමුත් එය සීමා සහිතව හෝ සිදු කරණු ලබයි. 

බොන්සායි සම්බන්ධයෙන් පමණක් මේ සමාව නොලැබිය යුතු නොවේ. එහෙත් එය අපහරණය කිරීම නොකළ යුතුය.

යමෙක් පරිසරයෙන් ගසක් ඉවත් කරන්නේ නම් ඒ වෙනුවෙන් ඒ වර්ගයේ හෝ වෙනත් වර්ග වල පැලයක් දෙකක් පරිසරයට දායාද කරයි නම්, හැකි නම් යම් කාලයක් ඒවා රැක බලා ගනී නම්, එය අයහපත් ඉවත් කර ගැනීමක් නොවනු ඇත. සියල්ල තුළ විය යුත්තේමනා  අවබෝධයෙන් සීමාවන් හඳුනාගනිමිනි. එහෙත් ඒ වඅබෝධයෙන් තොර විනාසකාරී අදහස් දරන්නන් අප අතර නැතිවා නොවේ. කොයි ක්ෂේත්‍රයත් එවැන්නන්ගෙන් තොර නොවේ. ඕනෑම ක්ෂේත්‍රයක අවුල් ඇති වන්නේ, එහි හොඳ නම්ට කැළැල් ඇති වන්නේ ඔවුන් නිසාවෙනි.

ඊ ළඟට විවේචකයින්ගේ අවුල් ද වෙයි. තමන් අලුතින් ඉදි කරණ නිවසේ වහළයට හොරෙන් පළු ගසක් කපන්නට, අත් වැට, තරප්පු පෙල ආදියට හොරෙන් කුඹුක් ගසක් කපා දෙන්නට වන හොරුන්ට ඇණැවුම් කරණ අය, එවැනි පලු ගසක් අවට වැවී ඇති පලු පැලයක්, කුඹුක් ගසක් යට වැඩෙන දහසක් කුඹුක් පැල අතුරින් එකක් දෙකක් ගලවා ගැනීම පිළිබඳව දැඩි විවේචන කරණ අවස්ථා ද නැතිවා නොවේ.

යමදෝරි විඩියෝවක් නරඹමු.


බොන්සායි ගැන තවත් වගතුග
හෙට දවසක ගෙන එමි.

සැකසුම,



-      යසනාත් ධම්මික බණ්ඩාර   -


5 comments:

  1. Great article sir. Thank you very sharing your knowledge with up. Waiting for more updates. We wish all the best and triple gem bless for your all steps...

    ReplyDelete
  2. ස්තුතියි. දිරිමත් කිරීමක් එය.

    ReplyDelete

Tamarind - සියඹලා බොන්සායි

Tamarind - සියඹලා බොන්සායි   Tamarind - සියඹලා බොන්සායි කලාව සඳහා යොදා ගනු ලබන සුවිශේෂ ගසක්. මෙහි සමහර ලක්ෂණ නිසාවෙන් බොන්සායි කලාව ...