Tamarind - සියඹලා බොන්සායි

Tamarind - සියඹලා බොන්සායි

 


Tamarind - සියඹලා බොන්සායි කලාව සඳහා යොදා ගනු ලබන සුවිශේෂ ගසක්.

මෙහි සමහර ලක්ෂණ නිසාවෙන් බොන්සායි කලාව සඳහා යොදා ගැනිමේදී යම් යම් දුෂ්කරතා ඇති වුවත්, නිර්මාණය කළ පසු අතිශය අලංකාරවත් ගසක් තමයි සියඹලා කියන්නේ.

සියඹලා වල ප්‍රබේදයන් රැසක් තිබෙනවා. සාපේකෂව විශාලත්වය අඩු විශේෂයක් තෝරා ගත් විට සමහර දුෂ්කරතා මගහැරවා ගැනීම පහසු වෙනවා.

මෙහි පත්‍ර විශාලයි. ඔබ දකින කුඩා කොළ පැහැ ව්‍යුහයන් පත්‍ර නොවෙයි. ඒවා පත්‍රය සෑදුනු පත්‍රිකා වෙයි. එනම් සියඹලා වල පත්‍රය පත්‍රිකා රැසකින් සමන්විතව පවතිනවා.

එබැවින් පත්‍රවල විශාලත්වය බොන්සායි නිර්මාණයක් කිරීමේදී මතුවන ප්‍රධානම අභියෝග වලින් එකක්.

කලක් යද්දී සියඹලා ගසෙහි ඵල හට ගන්නවා. බොන්සායි නිර්මාණයක වුව එලෙස ඵල හටගැනීම සිදු වෙනවා.

ප්‍රශස්ත තත්ත්ව යටතේ ඊට අවැසි නිසි පෝෂණය, ජලය, ආලෝකය මනාව ලැබෙන බැවින් එහි ඵල හට ගැනීම අරුමයක් වෙන්නේ නැහැ.

නමුත් බොන්සායි නිර්මාණයකදී එවිට අපට ඇතිවන ගැටළුව වන්නේ ගසේ ප්‍රමාණයට සාපේක්ෂව ඵලයක විශාලත්වය වැඩ වීම. අපේක්ෂා කරණ තරමින් ඵල කුඩා වීමක් වෙන්නේ නැහැ. මේ නිසා ඵල දැරූ බොන්සායි ගසක ඵල තිබෙන්නට හරිනවා නම් අනුපාතිකව එහි ඇති නොගැලපීම දරාගෙන එය කරන්නට වෙනවා.

පින්තූරයේ ඇත්තේ එවැනි බොන්සායි සඳහා පුහුණු කරණ ගසක ඵල දරා ඇති අවස්ථාවකි. අනුපාතිකව එහි ඇති නොගැලපීම එය දුටු විට ඔබට වටහා ගත හැකි වනු ඇත. මෙය දනට හොඳ බොන්සායි නිර්මාණයක් නොවේ. අදාල කරුණ පැහැදිලි කිරීම සඳහා පමණක් ඉදිරිපත් කළෙමි.

 


සියඹලාවල ඇති ඊ ළඟට ප්‍රධානම දුර්වලතාව වන්නේ නොහිතන තැනකින් රිවර්ස් ටේපර්ස් මතුවීම. මෙය වලක්වාගන්නට අතිශයින් අසීරු කරුණක්.

කඳෙහි යම් පහළ ස්ථානයක රිවර්ස් ටේපර් එකක් මතු වුවහොත්, එම ස්ථානයට ඉහළින් එයාර් ලේයර් කර අලුත් මල මණ්ඩලයක් සාදා ගැනීම වැනි උපක්‍රම මගින් එය වලක්වාගත හැකි වුවත්, කඳෙහිම ඉහළ ස්ථානයක හෝ, ප්‍රධාන අතුවල ඇති රිවර්ස් ටේපර්ස් මගහරවා ගැනීම සමහර විට බොහෝ දුෂ්කර කාරණාවක් වෙන්නට පුළුවන්.

Air layering of Tamarind Bonsai

භාෂාව වෙනස් වුව, අවැසි අදහස ලබා ගැනීමට එය බාධාවක් නොවන බැවින් මෙය ඔබට අදාල දැනුම ගෙනෙන විඩියෝවක් වනු ඇත.



සමහර විට හොඳ අතු බෙදීම් ඇති අතු රිවර්ස් ටේපර් එක ඇති ස්ථානයට මෙපිටින් කපා අලුතින්ම අතු ලබා ගැනීම වැනි දේ වලට යොමු විය යුතු වෙනවා. මෙය පහසු කරුණක් නොවේ. සහ එනිසාම අවසාන නිර්මාණය ප්‍රමාදයට හේතුවක් වෙනවා.

කෙසේ වෙතත්, අවසාන නිර්මාණයේ ඇති අලංකාරවත් බව නිසා සමහර නිර්මාණවල ඇති එම දුර්වලතාවයන් නොසකලා හැරෙනවා.

රිවර්ස් ටේපර් කියන දුර්වලතාව ගැන වැඩි දුරටත් කියනවා නම්, මීට පෙර රිවර්ස් ටේපර් ඇති නිර්මාණ බොන්සායි ප්‍රදර්ශණ හා තරගවලට ඉදිරිපත් කරන්නට ඉඩ දුන්නේ නැහැ. නමුත් නිර්මාණයේ අනෙකුත් විශිෂ්ඨ ලකුණු සලකා දැන් ඊට ඉඩ ඇතිවා සේම පෙර කී දුර්වලතාව නොතකා, අනෙකුත් වෙසෙස් ලක්ෂණ හේතුවෙන් ජයග්‍රහණය කළ රිවර්ස් ටේපර්ස් සහිත නිර්මාණ පවා තිබෙනවා.

සියඹලා වල මූල මණ්ඩලය අතිශයින් සංවේදී ලෙස සකලනවා. එබැවින් රී පොට් කිරීමේදී මූල මණ්ඩලය හා ගනුදෙනුව ප්‍රෙව්සමෙන් කළ යුතු වෙනවා. එය එක්තරා අභියෝගයක්. අනවශ්‍ය තරමින් මූල මණ්ඩලයට බාධා නොවන සේ එය කළ යුතු වෙනවා. ලද අත්දැකීම් මේ කාර්යය සාර්ථක කර ගැනීමේදී බොහෝ දුරට උදව්වක් වෙනවා.

සියඹලා දැඩි කප්පාදුවට සාර්ථකව මුහුණ දෙන නමුත්, සමහර අවස්ථාවල කප්පාදුවෙන් පසු සිතන ස්ථානවලින් අතු නොඒම නිසා ගැටළු රැසකට මුහුණ දීමට සිදුවන අවස්ථා තිබෙනවා. මේ නිසා පවත්වාගෙන ගිය හැඩය සම්පූර්ණයෙන්ස වෙනස් කර අලුත්ම හැඩයකට ගස සාදන්නට වූ අවස්ථා තිබෙනවා. ඒ වගේම කප්පාදු කළ ස්ථාන හොඳීන් සීල් කිරීම අවශ්‍ය වෙනවා. දිලීර ඇතුළු වීම හේතුවෙන් මුළු ගසම අහිමි වූ අවස්ථාත් තිබෙනවා.

මේ දුර්වල්තාවයන් නිසා සියඹලා නිර්මාණයක් සාර්ථක කරගැනීම අභියෝගයක්. නමුත් කාලයත් සමගද, අත්දැකීම් සමගද, උපක්‍රම භාවිතයෙන්ද මේවා ජයගත හැකි වෙනවා.

බොන්සායි යනු දීර්ඝ කාලීන නිර්මාණ කාර්යයක් වන බැවින්, කල් යත්ම යත්ම එහි පත්‍ර යම් තරමකට කුඩා වෙනවා. එසේම එම තරමින්ම කුඩා නොවුණත් හට ගන්නා ඵලද කුඩා වෙනවා.

නමුත් එය ඉවසීමෙන් බලා සිටිය යුතු කරුණක්.

සාපේක්ෂව ඉක්මන් නිර්මාණයක් සඳහා නම් ඔබ තෝරාගත යුත්තේ අන් ගසකි. එහෙත් ඉවසීමද කාලයද ලබා දෙමින් අභියෝගාත්මක නිර්මාණ කාර්යයක යෙදෙන්නට අවශ්‍ය නම් සියඹලා සුදුසුම නිර්මාණයකි.

මේ සියඹලා බොන්සායි කිහිපයක පින්තූර කිහිපයකි. පහසුවෙන් සොයාගත හැකි නිර්මාණ කිහිපයක් මෙහි අමුණා ඇති වුව, මේවාට වඩා අනර්ඝ බොන්සායි ඔබට අන්තර්ජාලය පිරික්සීමේදී මතුවට මුණගැසෙනු ඇත.









 

අවබෝධයෙන් යුතුව මෙම විඩියෝ නැරඹීමෙන් ඔබට සියඹලා බොන්සායිකරණය පිළිබඳව වැඩි දුරටත් අදහස් ලබා ගත හැකිය.



 



 



 



 

මෙය අත්වැලක් පමණකි. තවත් දේ සොයා යාම ඔබ සතු කාර්යයකි.

 

-      යසනාත් ධම්මික බණ්ඩාර     -

 

No comments:

Post a Comment

Tamarind - සියඹලා බොන්සායි

Tamarind - සියඹලා බොන්සායි   Tamarind - සියඹලා බොන්සායි කලාව සඳහා යොදා ගනු ලබන සුවිශේෂ ගසක්. මෙහි සමහර ලක්ෂණ නිසාවෙන් බොන්සායි කලාව ...