පෙර සටහනේදී බොන්සායි හැඩයන් කිහිපයක්
ගැන කතා කළ අතර ඒවා Classical Styles යන කුලකයට ඇතුළත් වන බව අප සඳහන් කළා
ඔබට මතක ඇති. එහෙත් බොන්සායි හැඩයන් එයින් නිම නොවේ. ඒ අනුව Non-classical Styles යනුවෙන් කුලකයක්ද පැවැකිය යුතු බව ඔබට වැටහෙනු
ඇත.
මේ හැඩයන් පෙර කී මූලික සම්භාව්‍ය හැඩයන්ගෙන්
මිදුණු යම් වෙනස් අකාරායන්ගෙන් යුතු බව පෙනී යනු ඇත. ඒ අනුව ඒ ඒ නිර්මාණයේදී සමහර
විට අර මූලික හැඩයන් හා බැඳුනු රීතීන් ඒ ඒ මට්ටමින් වෙනස්කම් වලට බඳුන් විය හැකිය.
එමෙන්ම මේ හැඩයන් නිර්මාණයේදී සමහර විට
අර කී මූලික හැඩයන්ට වඩා යම් අපහසුතාවන්ට අසීරුතාවන්ට මුහුණ දීමට සිදුවනු ඇත.
එහෙත් ඊට සමගාමීවම නිර්මාණයේ යම් නිදහස් රීතියකට යොමු වීමේ අවසරයද එහිදී ලැබෙනු
ඇත.
TWIN TRUNK – SOJU
කඳන් දෙකක් සහිත හැඩය
මෙම හැඩයේදී එකම මුලකින් පැණ නගින කඳන්
දෙකක් ගස් දෙකක් සේ දර්ශනය වෙයි. මතක තබා ගත යුතු කරුණ නම් එය එක ළඟ සිටවූ ගස්
දෙකක් නොවේ. එකම මුලකි. එකම ගසකි. නමුත් කඳන් දෙකකි. මෙහිදී එක් ගසක් සාපේක්ෂව
විශාල සහ උස වන අතර අනෙක සාපේක්ෂව කුඩා සහ මිටි වෙයි.
සමහර විට එම ගස් දෙක මව් ගස සහ දරු ගස
ලෙසද හැඳින් වේ.
අතු පිහිටවීමේදී මූලීක රීතීන්
පිලිපැදිය හැකි හැම විටම ඒවා පිලිපදින්නට උත්සුක විය යුතුය. එක් ගදක අත්තක් අනෙක්
ගද හරහා යාම හෝ බාධාවන අයුරින් පිහිටුවීම නොකළ යුතුය.
එක් එක් හැඩය යටතේ කතා නොකළද මේ හැම හැඩයකදීම
පාහේ රැකිය හැකි සෑම විටෙකම එම නීති රීති රැකීම කිරීම වඩා සුදුසුය. එනම් නොකරම
බැරි විටෙක හැර ඒවා නොකැඩිය යුතුය.
TRIPPLE TRUNK – SANKAN
කඳන් තුනක් සහිත හැඩය
මෙහි දී වන්නේ එකම මුලකින් පැණ නගින කඳන්
තුනක් ගස් තුනක් අපට දැකිය හැකි වීමයි. මෙම හැඩයේදීද ද්විත්ව කඳන් සහිත හැඩයේදී
සේම එය එක ළඟ සිටවූ ගස් තුනක් නොවේ. කඳන් තුනකි.
එකම මුලකි. මෙහිදී සාමාන්‍යයෙන් මැද ගසක් සාපේක්ෂව විශාල සහ උස වන අතර අනෙක් ගස්
දෙක ප්‍රධාන ගසට වඩා කුඩා සහ මිටි වේ. එමෙන්ම තුන් වන ගස දෙවන ගසට වඩා කුඩා සහ
මිටි වේ.
මෙහිදී සාමාන්‍යයෙන් මැද ගස වඩා විශාල
ගස ලෙස පිහිට වූවත් එසේ නොවන නිර්මාණද හමු වේ. එවිට සමහර විට වඩා විශාල ගස දකුණෙහි
හෝ වමෙහි පිහිටුවා ඉන් පසු පිලිවෙලින් විශාලත්වය අඩු වෙන පිලිවෙලට නිර්මාණය කරණු
ලැබේ.
MULTIPLE TRUNK – KABUDACHI
බහු කඳන් හැඩය
මෙහි ඇත්තේ එකම මුලකින් උපදින කඳන් කිහිපයක් ගස් කිහිපයක් සේ දිස් වීමයි. නමුත් ඇත්තටම නම් ඒ එකම ගසකි. ඒ කඳන් වල ප්‍රමාණ එකිනෙකින් වෙනස් විය යුතු අතර ඒවා අතර උස ප්‍රමාණයන්ද කඳේ මහතට අනුරූපව විය යුතුය. එක මුලකින් උපදින් 3කට වැඩි කඳන් ගණනක් මේ හැඩයට සැකසිය හැකි වුවද සාමාන්‍යෙයන් කඳන් ගණන ඔත්තේ ගණනකට සැකසීම සම්ප්‍රදායකි. ඒ සඳහා වැඩි කඳන් ඉවත් කිරීම හෝ අවශ්‍ය නම් බද්ධ කිරීමකින් අලුත් කඳන් ලබා ගැනීම වුව කළ හැකිය.
මේ සියළු කඳන් වල ශීර්ෂයන් එකතුව එකම
කිරුළක් සාදයි.
ROOT-OVER-ROCK – SEKIJOJU
පාෂාණයක් දැඩිව බදමින් මුල් පහතට ඇදුණු
හැඩය
එවන් ගස් වර්ගයක් තෝරා ගැනීමෙන් මේ
හැඩය ඒ අනුව අපට සාදා ගැනීම ඉතා පහසු කරුණක් වනු ඇත. එය කළ හැකි විධික්‍රම
කිහිපයක් වෙයි. ඒවා පසුව යම් යම් අවස්ථා වල කතා කරන්නට සිතමි. දැනට හැඩය පිළිබඳ
අදහසක් පමණක් ඉදිරිපත් කරමි.
WINDSWEPT – FUKINAGASHI
සුළං හමන අතට නැමී ගිය හැඩය
මෙම හැඩය බොන්සායි හැඩයන් අතුරින් නිර්මාණය කිරීමේ අපහසුම හැඩයකැයි බොන්සායි හි නියැලෙන්නන් අතර ප්‍රකට අදහසකි. ඊට හේතුව වන්නේ සමහර විට අතුපතර සුළඟට ගසාගෙන යන්නාසේ හැඩ ගැස්සීම කළ හැකි වුවත් එහි පත්‍ර වලට ඒ ස්වභාවය දීම එතරම් පහසු නැති බැවිනි. එබැවින් මෙම හැඩය සඳහා ගසක් තෝරා ගැනීමේදී පත්‍රවලටද එව ස්වරූපය දීමේ පහසුව සහිත ගසක් තෝරා ගත හැකි නම් සුදුසුය. නමුත් ඕනෑම වර්ගයක ගසක් මේ සඳහා යෝග්‍ය නොවේ යැයි කිව නොහැකිය.
මේ හැඩය නිරීක්ෂණය කළ විට ඒවා ස්වභාවයේ
පවතින ස්ථානය කුමණාකාරද යන්න වටහා ගැනීම වැදගත් වෙයි. බොහෝ විට සෑම විටෙකම එක්
පෙසක සිට අනෙක් පසට පමණක් සුළ හමන සුළං මුහුණත් වල වැඩෙන ගස් වල හැඩය මෙම හැඩය
වෙයි. ඒ අනුව එහි කඳ සුළං හමන දිශාවට ඇළව පිහිටයි. එහි අතුපතරද ඒ අනුව සුළං හමන
දිශාවටම යොමුව වැඩී ඒ දෙසට ඇදී ගොස් ඇති ආකාරයක් ප්‍රදර්ශණය කරරයි.
මේ පින්තූරය ඔබට ඒ බව පසක් කරණු ඇත.
මේ හැඩය නිර්මාණය කරණ විට ඉහත ස්වභාවය
වටහාගෙන එය කළ යුතුය. එහෙත් එහිදී කරණු ලබන එනක් සුලබ වරදක් වෙයි. සමහර
නිර්මාණකරුවන් එය පහසුවෙන් කර ගැනීම සඳහා එක් පසෙකට වැඩුණු අතු සියල්ල ඉවත් කර
අනෙක් පසට වැඩුණු අතු පමණක් ඉතිරි කරගෙන ඒ අතු ඒ දෙසට විහිදෙන අයුරින් හැඩ
ගැස්සවීමයි. එහෙත් එවිට එහි ස්වභාවික ගුණය ඉන් ගිලිහී යයි.
විය යුත්තේ කඳේ සෑම පසෙකිව්ම වැඩුණු
අතු සුළං හමන දිශාවට යොමුව නැවී ඒ දෙසට ඇදී ගොස් ඇති අයුරින් පිහිටුවීමයි.
LITERATY – BUNJINGI
මෙහිදී දිගු විවිධ නැමුම් සහිතව වැඩුණු
තනි කඳක ඉහළම කොටස් වල පමණක් අවම අතුපතරක් පවතී. මේ හැඩයේදී එම තනි කඳ විවිධාකාරව නැමුම් සහිතව
පිහිටුවීම මගින් අධික හැඩයන් ප්‍රමාණයක් ලබා ගැනීමේ හැකියාව ලැබී ඇත. එසේම අනෙකුත්
නිර්මාණ වලදී අත හෝ කඳේ නැමුණු අග්‍රස්ථය කඳ හෝ අතු හරහා ගමන් නොකරතත්, මෙම
හැඩයේදී සමහර වට එසේ පිහිටවූ අවස්ථාද දැකිය හැකිය. එය එහි අලංකාරවත් බව වැඩි වෙන
අයුරින් යොදා ගන්නවා මිස අනෙකුත් හැඩයන්ගේදී එසේ වූ විට අලංකාරය අඩු වීමක් මෙහිදී
දකින්නට නොලැබේ.
EXPOSED ROOTS – NEAGARI
මුල් පසෙන් උඩට මතුවූ ආකාරයේ හැඩය
මෙය ගලක් මත මුල් පිහිටන ආකාරයට බොහෝ සෙයින් සමීප වුවත්, එහිදී ගලක් නැත. මෙම හැඩය පිහිටිවීම ක්‍රම දෙකකට කළ හැකිය. එකක් නම් හොඳින් වැඩුණු ශක්තිමත් මූල පද්ධතියක් ඇති ගසක් යම් තරමකින් ඔසවා පස් කුට්ටිය මතුවන සේ යළි සිටුවීමයි. එවිට නව පාංශු මට්ටමට ඉහළින් පිහිටි පස් සේදී ගිය පසුව මුල් මතුව ඇති හැඩය සෑදේ.
තවත් ක්‍රමයක් නම් පොලිතීන් බෑගයක
සිටවූ ගසක් ගෙන එහි පොලිතීන් ඉවත් කර පස් කුට්ටියෙන් භාගයක් පමණක් යට වන සේ යළි
සිටුවා ක්‍රමයෙන් පස සේදී යාමට සැලැස්වීමයි. එවිට මුල් මතුවී ඉහත හැඩය ලබා ගත
හැකිය. එහෙතක් ඉහත දැක්වූ ක්‍රම දෙකේදීම අපට අවශ්‍ය මුල් අවශ්‍ය ආකාරයෙන්ම පිහිටා
ඇතිද යන්න නිශ්චිතව දැනගෙන එය කළ නොහැකිය. කළ හැකි දේ වන්නේ මුල් මතු වූ පසුව
වඩාත් සුදුසු මුල් තබා ගෙන අනෙක් මුල් ඉවත් කිරීමයි.
වඩාත් සාර්ථක ක්‍රමය වන්නේ යොදා ගන්නා
ගසේ පස් සේදී යාමට සලස්වා අවශ්‍ය මුල් ඉතිරි කරගෙන අනවශ්‍ය මුල් ඉවත් කර ඉන් පසු
මුල් වලින් කොටසක් යට වෙන්නට යොදා ගන්නා බඳුනේ සිටුවා ඉතිරි මුල් ආවරණය වන සේ ඒ
වටා යම් ගල් වැටියක් හෝ වෙනත් ප්ලාස්ටින් රඳවනයක් සකසා පස් පිරවීමයි. එම මුල්
ශක්තිමත් වූ විට එව ගල් වැටිය හෝ රැඳවුම ඉවත් කර පස් සේදී යාමට සැලැස්විය හැකිය.
මේ වර්ගයේ බොන්සායි නිර්මාණ අඩුය.
එමෙන්ම විකුණන්නේ නම් එ්වා අධික මිලෙන් යුක්තය.
DRIFTWOOD – SHARIMIKI,
SABAMIKI
දිරා ගිය කදන් කොටස් සහිත
උස් පාෂාණ සහිත කඳුකර ශ්‍රැෂ්ක පෙදෙස් වල වැඩෙන ගස් මෙවැනි දිරාගිය කොටස් වලින් යුක්තව වර්ධනය වේ. එවැනි පෙදෙස් වල පවතින විෂම දේශගුණික තත්ත්වයන්ද එබැවින්ම සමහර විට දිරා යාම් තුවාල වීම් ආදියට ලක්වීම නිසාද මීට හේතු වේ.
බොන්සායි ගසක මෙවැනි කොටස් SHARI
ලෙසින්
හඳුන්වන අතර, ඒවා කෘතිමව සාදා ගත් ලයිම් සල්ෆර් මිශ්‍රණය ආලේපයෙන් කාලයක් යන විට
ස්ථාපිත වූ දිරුමක ලකුණු පෙන්විය හැකිය.
කේතුධර ශාක මේ හැඩය සඳහා වඩාත් යෝග්‍ය
වුවත්, එවැනි ශාක මෙහි එතරම් සුලභ නොවන හෙයින් දිරාගිය කොටස් සහිත වෙනස් ගස් වර්ග
මේ සඳහා යොදා ගත හැකිය. නොඑසේ නම් දිරාගිය සේ පෙනෙන කොටස් නිර්මාණය කර ගත හැකිය.
PLANTED-IN-ROCK – ISHITSUKI
පාෂාණ කුහර තුළ ඇති ගස් වල හැඩය
ගඟ වැරැල්ල, හෝතෝර්න් ( Malpighi
coccigera ) හෝ
කුඩා ප්‍රමාණයේ නුග වර්ග මේ සදහ මෙරටදී පහසුවෙන් යොදා ගත හැකිය. එහෙත් අත්දැකීම්
බහුල නිර්මාණකරුවන් වෙනත් ගස් වර්ගද මේ සඳහා යොදා ගන්නා අවස්ථා දැක ගත හැකිය.
SPIRAL TRUNK – BANKAN
කඳ දඟරයක් සේ ඇඹරුණු හැඩය
ඇඹරීමෙන් නැවීමෙන් පහසුවෙන් නොකැඩෙන
ගස් වර්ග වඩාත් සුදුසු වුවද, ඕනෑම ගස් වර්ගයක් පාහේ මේ සඳහා යොදා ගත හැකිය. කෙසේ
වෙතත් මෙහිදී බොහෝ වැඩුණු ගස් යොදා ගත නොහැකිය. නැවිය හැකි ඇඹරිය හැකි ප්‍රමාණයේ
කඳන් සහිත ගස් මේ සඳහා යොදා ගත යුතුය.
FOREST – ROSE-UE
වනාන්තරයක හැඩය
විවිධ උස ප්‍රමාණයන්ගෙන් සහ කඳේ මහත ප්‍රමාණයෙන් යුතු කඳන් ගණනාවක් මේ සඳහා යොදා ගත හැකි වුවත්, ඔත්තේ සංඛ්‍යාවක් යොදා ගැනීම සාමාන්‍ය සම්ප්‍රදායයි. වඩා උස වඩා මහත කඳන් සහිත ගස් වනාන්තරයේ මැද ප්‍රදේශයේ පිහිටුවිය යුතු අතර දෙපසට වන විට ක්‍රමයෙන් උස අඩු වී කඳන් වල මහතද අඩු වී යයි. කෙසේ වෙතත් මේ මහතම උසම ගස් සකසන්නේ හරි මැදටම නොවේ. අසමමිතිකවය. එවිටය අලංකාරවක් බව වැඩි වෙන්නේ. එමෙන්ම යම් ප්‍රදේශ වලදී ගස් ළඟින් ළඟින් ඝනව පිහිටන ලෙසත් පසෙකට වන්නට තුනී නව ලෙසත් පිහිටුවීම කරණුයේද අලංකාරය පිණිසය. නමුත් මේ සමහර දේ අභිමතය පරිදි කළ හැකිය. දරදඬු නීති සමහර හැඩයන් වලදී නැති බව කීවා මතක ඇත.
වනාන්තර හැඩයේ නිර්මාණ සදහා යොදා ගන්නා
ගස්වල පාදස්ථයේ සිට යම් උසක් යන තුරු අතු නොපිහිටුවා කඳන් වෙන් වෙන්ව පැහැදිලිව
පෙනනයුරින් සකසන අතර, එතැන් සිට ඒ ඒ ගසේ අතුපතර එකිනෙක බැඳුනු වියනක් සේ පෙනෙන්නේ
වනාන්තරයක පිහිටන ආකාරයටය.
කුඩා පත්‍ර සහිත ගස් වර්ග මේ සඳහා යොදා
ගැනීමෙන් වඩාත් අලංකාරවත් ප්‍රතිඵල ලැබිය හැකිය.
RAFT STYLE – NTSUNAGARI,
IKADABUKI
ගසක ඇදවැටුණු කඳකින් මතුවන අතු ගස් ලෙස
පෙනෙන හැඩය
යම් යම් හේතුමත බිම ඇද වැටුණු ගස් මුළින් සම්පූර්ණයෙන් වෙන් නොවී එහි යම් පමණක් ඉතිරි වූ විට, කඳට සහ පසට යට නොවී ඉහළට හැරුණු ගසේ අනෙක් පස අතු ක්‍රමයෙන් අලුත් ගස් ලෙස ඉහළිට වැඩේ. එමෙන්ම කලක් මව් ගසේ කඳ හා පස ස්පර්ශව තිබීමෙන් එම කඳේ යම් යම් තැන් වලින් මුල් ඇද ගනී. එවිට අර පෙර කී ඉහළට විහිදුණු අතු ශක්තිමත්ව ගස් බවට පත් වෙයි. මේ හැඩය අනුව සැකසූ බොන්සායි නිර්මාණ ද වෙත්.
මේ පින්තූරයේ දැක් වෙන්නේ එවන්
නිර්මාණයක් සාදා ගන්නා උපක්‍රමයයි.
බඳුනක වැඩුණු සුදුසු ගසක් තෝරාගෙන එහි හොඳින්
අතු ඇති පැත්තේ අතු ඉතිරි කර අනෙක් පැත්තේ
අතු ඉවත් කරණු ලබයි. අනතුරුව අතු ඇති පැත්තේ අතු ඇළුමිණියම් කම්බි මගින් එකම දිශාවට
පිහිටන සේ වයර් කරණු ලබයි. ගසේ යම් යම් කොටස් පසට ස්පර්ෂ වීම පහසු වන සේ ප්‍රධාන
කඳද කම්බි යොදා නැමුම් කිහිපයක් සාදා ගනු ලබයි.
පසුව පසට පහසුවෙන් ස්පර්ශවන පැත්තේ
ස්ථාන කිහිපයක පොත්ත ඉවත් කර හෝමෝන තවරා ගැනීම සිදු කරයි. ඉන් පසුව බඳුන හෝ ගස ඇති
ටියුබය ඇල කර අර ස්ථාන පසට ස්පර්ශවන සේ සමීප කර පස් වලින් වැසීම සිදු කරණු ලබයි.
නොඑසේ නම් පහත පින්තූරයේ මෙන් පෙට්ටියක් සාදාගෙන එහි අදාල ගස රඳවා පස් පුරවා ගැනීම
සිදු කරයි.
මේ අයුරින් සැකසූ විට කඳේ පහත කොටසින් මුල්
ඇදීම සිදුවන අතර, අනෙක් පස අතු කුඩා ගස් සේ ඉහළට වර්ධනය වන්නට පටන් ගනී. පසුව එම
ගස් යම් රීතියකට යටත්ව පිහිටුවීමට උත්සාහ ගනී.
කෙසේ වෙතත් මෙහිදීද මේ නීති රීති දැඩි ඒවා නොවේ.
සාමාන්‍යයෙන් වඩා මහත උස ගස් මැද්දට
කිට්ටුව පිහිටුවා අනෙක් ගස් ගැලපෙන අයුරින් පිහිටුවීම කරන්නේ නම් හොඳ වුවත් එය අත්‍යවශ්‍ය
නොවේ.
සාමාන්‍යෙයන් මෙවන් හැඩයන්ට අතගැසිය
යුත්තේ මූලික රූපාකරයන් ප්‍රා යෝගිකව කිරීමෙන් ලත් පුහුණුව සහිතවය. නැති නම් එහි
සාර්ථකත්වයට එයින් බලපෑමක් සිදුවිය හැකිය.
මේ හැඩයන්ට අමතරව දැකිය හැකි තවත්
හැඩයන් වෙයි. සමහර විට මේ හැඩයන් දෙකක් හෝ වැඩි ගණනක මුසුවක් ලෙස වුව ඒවා නිර්මාණය
වේ. එහෙත් ඒ සියළු හැඩයන් පිළිබඳව මෙහිදී කතාකරන්නට උත්සුක නොවෙමි. ඔබ ස්වයං අධ්‍යයනයෙන්ද
ඒවා උගණිනු ඇත. එමෙන්ම මේ ලිපි පෙළෙහි යම් යම් තැන් වල අවශ්‍ය පරිදි කතා කෙරෙනුද
ඇත.
-
යසනාත් ධම්මික බණ්ඩාර -