6. හැදෙන වැඩෙන පස




 Image result for bonsai soil pics

බොන්සායි පස කියා කොහේවත් තිබෙන වෙනම පසක් නැත. බොන්සායි සදහා සුදුසු පසක් අප විසින් සකසා ගත යුතුය. එය සාමාන්‍ය පසම නොවේ. සාමාන්‍ය පසද තවත් යම් යම් සංඝටකද එකතු කර ගනිමින් බොන්සායි සඳහා සුදුසු පාංශු මිශ්‍රණයක් සාදා ගනී. මේ මිශ්‍රණයට අන්තර්ගත සංඝටක රටින් රටට වෙනස් වෙයි. එසේම ගස් වර්ගයෙන් වර්ගයටද වෙනස් වෙයි. අප අද මෙහි කතා කරන්නට යන්නේ පොදුවේ පාංශු මිශ්‍රණයක් සාදා ගන්නා අයුරිනි. ඔබ අත්දැකීම් ලබන විටද, ඔබ අත්දැකීම් සහිත ශිල්පීන් හා අදහස් හුවමාරු කර ගන්නා විටද මේ දැනුම පෝෂණය වනු නිසැකය.එවිට විවිධ විවිධ මිශ්‍රණ අත්හදා බලනු ඇත.

බොන්සායි සඳහා පාංශු මිශ්‍රණයක් සාදා ගැනීමේදී සලකා බලන ප්‍රධාන කරුණක් වන්නේ ජලය හොඳින් බැස යාම යන සාධකයයි. කෙසේ වෙතත් ඒ අතරේම යළිත් ජලය යොදන තෙක් එහි අවශ්‍ය ජල ප්‍රමාණයක් රඳවා ගැනීමේ ශක්තියද ඊට තිබිය යුතුය. 

එසේම ගසට අවශ්‍ය පෝෂ්‍ය පදාර්ථයන් දරා ගැනීමේ හැකියාවද එය සතුව තිබිය යුතුය. 

පසේ විවිර බව ඉතා වැදගත්ය. සීමිත ඉඩක වැඩෙන මූල් මණ්ඩලයට හොඳ වාතාශ්‍රයක් අවශයය. එසේම මේ සවිවිර බව නිසා පස අනවශ්‍ය තරම් තද නොවී මූල මණ්ඩලයේ වැඩීම බාධාවකින් තොරව සිදුවීමට අවශ්‍ය පරිසරය සකසා දෙයි.

පසේ විවර බව අඩු වී අධික ජලය රැඳීම සහ පස අධිකව තද වීමෙක් මූල් මණ්ඩලය කුණූ වි ගම් මැරී යා හැකිය.

මේ ගුණ සහිත පසක් ලැබෙන්නේ අප යොදා ගන්නා සංඝඨක කුඩා කැට වශයෙන් ඇති විටය. එම ද්‍රව්‍යයන්ම වුව අංශු වශයෙන් ඇත්තේ නම් ඉහත ගුණයන් සහිත පසක් ලබා ගත නොහැකිය.

බොන්සායි සැකසීමේදී අවස්ථාවන් තුනක් හඳුනා ගත හැකිය. එ් ඒ අවස්ථාවන් හිදී යොදා ගන්නා පස වෙනස් වේ. 

පළමු අවස්ථාව නම් සොයා ගන්නා ගසක් නිදහසේ වැඩෙන්නට හරින අවස්ථාවයි. එවිට පස ප්‍රධාන වශයෙන් සාමාන්‍ය මතුපිට පස, වැලි සහ කොම්පෝස්ට් ලෙස වෙයි.  කාබනික පොහොරක් ලෙස හොඳින් වියළුනු කුඩා කොටස් ලෙස කඩා ගත් ගොම ද එක් කර ගනී. මේ අවස්ථාවේදී මතුපිට පස් කොටස් 2ක්, වැලි 1ක්, කොම්පෝස්ට් කොටස් 1ක්, ගොම කොටස් එකක් ලෙස සකසා ගත හැකිය. ජලය බැස යාම වඩාත් අවශ්‍ය නම් වැලි ප්‍රමාණය වැඩි කර ගත හැකිය.

ඊ ළඟ අවස්ථාව වන්නේ වැඩෙන්නට ඉඩ හරින අතරේ ගස පුහුණු කරණ අවස්ථාවයි. මේ අවස්ථාවේදී පස තරමක් වෙනස් කර එහි සවවිර බව තවත් යම් පමණකින් වැඩි කර ගනී. එලෙසම එහි ජලය බැස යාමද තවත් තරමකින් වැඩි කර ගනී. නමුත් එය අවසාන බොන්සායි මිශ්‍රණයේ තරම්ම නොවෙයි. 

මෙහිදී පස් කොටස් 1ට වැලි කොටස් 1ට කොස්පෝස්ට් කොටස් 1ට වියලි ගොම කොටස් 1ක් වෙයි. 

පැලයක් බොන්සායි නිර්මාණයක් වශයෙන් මූලික හැඩ කිරීම් වලින් පසු බොන්සාය බඳුනකට ගනිද්දීය බොන්සායි පාංශ්‍ර මිශ්‍රණය යොදා ගනු ලබන්නේ.

බොන්සායි මිශ්‍රණය සඳහා පස හලා කුඩාම දුහුවිලි බඳු අංශු ද වඩා විශාල කොටස් ද ඉවත් කර ගන්නා නමුත් මේ ඉහත දැක්වූ පළමු පස් මිශ්‍රණ දෙකේදී සාමාන්‍යයෙන් එවැන්නක් අවශ්‍ය නොවෙයි. ඒ ඒ සංඝටක වලින් අදාල ප්‍රමාණයන් පමණක් මිශ්‍ර කර ගත හැකිය.

දැන් අපි වඩාත් අවධානය අවශ්‍ය වන බොන්සායි පස් මිශ්‍රණයක් සාදා ගන්නා අවස්ථාවට එළඹ සිටිමු.

එය කල්පනාවෙන් හැකි තාක් නිවැරදිව කරණ තරමට ප්‍රතිඵලදායක වේ.
ජපානය වැනි රටක නම් විවිධ පාංශු මිශ්‍රණයන් යොදා ගත හැක්කේ ඒ රටවල බහුල පාෂාණ වර්ග සහ පස් වර්ග අදාල ප්‍රමාණ වලින් මිශ්‍ර කර ගැනීමෙනි. එහෙත් අප රටේ එවැනි පස් වර්ග හෝ පාෂාණ වර්ග සොයා ගත නොහැකි බැවින් සොයා ගත හැකි සුදුසු පස් වර්ග පාෂාණ වර්ග දැව අඟුරු ආදාය සොයා ගැනීමට උපක්‍රමශීලී විය යුතුය. 

මෙහිදී පහසුවෙන් සොයා ගත හැකි ගඟේ වැලි, උළු හෝ ගඩොල් කැට කැබලි, වියලි ගොම කැබලි, හොඳින් වියලා ගත් මතු පිට පස, තද දැව අඟුරු කැබලි ඊට යොදා ගන්නා සංඝටක වෙයි.

 Image result for bonsai soil pics

මේ සංඝටක විවිධ අනුපාත වලින් ඒ ඒ ගසට ගැලපෙන අයුරින් යොදා ගනී. එලෙසටම විවිධ කැට ප්‍රමාණ වලින්ද යොදා ගනී. මේ පස විවිධ කැට ප්‍රමාණයෙන් සාදා ගැනීමට විවිධ ප්‍රමාණයේ කම්බි දැල් සහිත  පෙනේර වලින් හලා ගත යුතුය. ඒ ඒ පෙනේරයේ සිදුරු වල විශාලත්වය පහත ප්‍රමාණ වලින් යුතුය. අඟලෙන් 1/4, 1/8, 1/16, 1/32 ආදී වශයෙනි.
  
 Related image

මෙහිදී 1/32 පෙනේරය යනු සාමාන්‍ය පිටි හලන පෙනේරයයි. එය ඉතා පහසුවෙන් සොයා ගත හැකිය. එහෙත් අනෙක් පෙනේර සඳහා වැලි හලන සල්ලඩ වලට යොදා ගන්නා අදාල ප්‍රමාණයේ දැල් සොයා ගත යුතුය.

මුළින්ම 1/4 පෙනේරයෙන් පස හලා ගන්නා අතර එහි ඉතිරිවන කොටස වඩා විශාල කැට නිසා බොන්සායි පස් මිශ්‍රණයට නොගනී. එහෙත් බඳුන් වල යටටම වතුර බැස යාම සඳහා කට්ටුවක් සේ ඇතිරිය හැකිය. 

දැන් ඊ ළඟ ඊ ළඟ පෙනේර වලින් හලාගෙන ඒ මත ඉතිරිවන පස අංක 1, 2, 3 පිලිවෙලින් කැටවල ප්‍රමාණය වැඩවන සේ වෙන්කර ගනු ලබයි. 

 

1/32 පමාණයේ පෙනේරයෙන් හැලෙන දුහුවිලි වැනි අංශු සහිත පස ද බොන්සායි මිශ්‍රණයට යොදා නොගනී. එය මතුපිට තුනී තට්ටුවක් සේ අතුරා ඒ මත පාසි සාදා ගැනීම සඳහා ප්‍රයෝජනයට ගත හැකිය.

දැන් මේ පස අපට බොන්සායි ගසක් සාදා ගැනීම සඳහා යොදා ගත හැකිය. බඳුනේ ජලය බැස යන සිදුරු ආවරණය සඳහා මුලින් කී ලෙස සිදුරු ලොකුම පෙනේරය මත ඉතිරි වන කැට යොදා ගත හැකිය. ඉන් පසු විශාල කැට ප්‍රමාණ‍යේ සිට කුඩා කැට ප්‍රමාණය වන ලෙස පස තට්ටු ලෙස යොදා ගනු ලබයි. 

Image result for bonsai soil layers pics

කෙසේ වෙතත්, මේ සංකීර්ණ පස් මිශ්‍රණය සාදා ගත හැකි නම් වඩාත් යෝග්‍යය. එහෙත් ප්‍රායෝගික අපහසු කම් නිසාවෙන් සමහර ශිල්පීන්ගේ මතය වන්නේ ඉහත අඟල් 1/4 පෙනේරයෙන් හලා ඉන් හැලෙන පස පසුව 1/32 පෙනේරයෙන් හැලෙන පස ඉවත් කර ඉතිරි පස දළ මිශ්‍රණයක් ලෙස යොදාගැනීම වුව සෑහෙන බවයි. බොහෝ සංවේදී ශාක විශේෂයන් පමණක් ඉහත කී ලෙස ප්‍රමාණ තුනක පස් තට්ටු යොදා ගෙන කළ හැකි බවයි.



-      යසනාත් ධම්මික බණ්ඩාර   -


Tamarind - සියඹලා බොන්සායි

Tamarind - සියඹලා බොන්සායි   Tamarind - සියඹලා බොන්සායි කලාව සඳහා යොදා ගනු ලබන සුවිශේෂ ගසක්. මෙහි සමහර ලක්ෂණ නිසාවෙන් බොන්සායි කලාව ...