දිගු විරාමයකට පසුව
යළිත්
බොන්සායි ගැන යමක් ලියන්නට සිතට ගතිමි.
කාර්ය බහුලත්වය සේම මේ අදහස් ලියාගෙන
යත්දී සමහරුන්ගෙන් ලැබුණු අප්‍රසන්න ප්‍රතිචාර ද ලිවීම් ප්‍රමාද කිරීමට හේතුවක්
විය.
නමුත් අප නොසිතන සමහර ප්‍රතිචාර බලාපොරොත්තු
විය යුත්තේ ඒ හේතුවෙන් යම් අයුරකින් අප මේ කටයුතු නවත්වාලිය යුතුද යන පැණයට මගේම
අභ්‍යන්තරය දුන් පිලිතුර එසේ නොවියයුතුය යන්න වන බැවින්, යළිත් ලිවීමේ අදහසින් දින
කිහිපයක් කල් ගෙව්වෙමි.
යළි ඇරඹුම ගන්නේ කොතැනින්ද යන පැණය
සිත්හි දරා සිටින අතරේදීය මේ මැයෙන් ලියා එය යළි ඇරඹිය යුතුයැයි සිත් වුණේ.
බොන්සායි යන්න පෙර සඳහන් කරන්නට යෙදුනද යළිත්
මෙහි සැකවින් එය ලියන්නේ මෙහිද එය කියවීම මේ සටහනේ අර්ථය වැඩි කරන්නට හේතුවක් වන
බැවිනි.
බොන්සායි කලාවේ බටහිර ප්‍රවීනයෙක් වන ඩේවිඩ් ප්‍රෙස්කොට් ගේ කෘතියකට පෙරවදනක් සපයන ඊටත්
වඩා ප්‍රවීන බොන්සායි ගුරුවරයෙකු වන කොලින් ලුවිස් එහි මෙසේ සඳහන් කරයි.
The only
thing that makes bonsai different from any other form of horticulture is that
it involves creating a miniature image of a larger tree, and keeping it that
way, in a container that is shallower than usual.
මේ අනුව බොන්සායි අන්
කුමණ හෝ උද්‍යාන විද්‍යා නිර්මාණයකින් වෙනස් වන එකම කරුණ වන්නේ බොන්සායි යනු
පරිසරයේ ඇති රූස්ස ගසක් ඉතා කුඩා පරිමාණයෙන් බඳුනක් තුළ වගා කර, එහි පවතින ඒ
ස්වරූපය දිගටම පවත්වාගනිමින් යාම නිසාය. මේ බඳුනද සාමාන්‍යෙයන් භාවිතා කරණ බඳුන්
වලට වඩා කුඩා සහ නොගැඹුරු වෙයි.
මේ අදහස් අනුව බොන්සායි යනු කිසියම් කුරු ගස් වර්ගයක් ගෙන එය පරිසරයේ ඇති වෙනත්
ගසක ස්වරූපය ගන්නා අයුරින් හැඩගැන්වීමේ කලාවක් නොවේ. පරිසරයේ රූස්සව වැවෙන ගස්
වර්ගයම ගෙන එය අර කුඩා පරිමාණයේ බඳුන තුළ රූස්ස ගසේ ගති ලක්ෂණ විද්‍යාමාන වන
අයුරින් කුඩා පරිමාණයේ නමුත් මහ ගසක ස්වරූපයෙන් පවත්වාගෙන යාමය බොන්සායි කියනුයේ.
මෙය සරල උදාහරණයකින් පැහැදිලි කර
ගතහොත්, විසල් සියඹලා ගසක් සේ පෙනෙන අයුරින්
වෙනත් කුරු ගස් ප්‍රබේදයක් බඳුනකට ගෙන හැඩගැන්වීම නියම බොන්සායි නොවේ. අර පරිසරයේ
පවතින සියඹලා ගසක්ම බඳුනකට ගෙන ඒ මහා රූස්ස සියඹලා ගසේ රූපය නැති නම් ගති ලක්ෂණ පෙන්වන සේ හැඩ
ගන්වා එලෙසින්ම වසර ගණන පවත්වාගෙන යාමය නියම බොන්සායි
කියන්නේ.
එනම් පරිසරයේ පවතින ගසද සියඹලා ය.
බොන්සායි නිර්මාණය ද සියඹලා ය.
බොන්සායි නිර්මාණය ද සියඹලා ය.
මෙය මෙසේ කියන්නට සිත් වූයේ වර්තමානය
වන විට බොන්සායි කලාවක් සේම ව්‍යාපාරයක්ද වී
ඇති බැවින්, කලාවේ යම් යම් ප්‍රතිපත්ති සහ රීතීන් අභිබවා ව්‍යාපාරික අදහස් පෙරමුණට
ඒමත් සමගම කලාවේ මතුව ඇති වෙනස් කම් හේතුවෙනි.
අද බොන්සායි
විකුනන්නට තබා ඇති සමහර තැනකට ගියහොත් එහි වැඩිහරියක් ඇත්තේ ඇස්බැන්දුම්ය. එනම්
යම් කුරු ගසක් ( මේ ගස හැදෙන්නේම එලෙස කුරුවට ය.) බොන්සායි
බඳුනක සිටවා බොන්සායි වලට ඇළුම් කරණ
නමුත් බොන්සායි ගැන නිසි ලෙස නොදන්නා අයට දහස්
ගණන් මුදලට විකිණීමය. මේවා පැහැදිලිවම බොන්සායි
නොවේ.
කෙසේ වෙතත්, මේ කුරු ගස් ප්‍රබේදයන් බොන්සායි සඳහා යොදා ගන්නට නොහැකිය යන අදහසක් මින් නොකියැවේ. මා මෙහි කියන්නේ ප්‍රයෝගකාරයින් කරණ අකටයුත්ත ගැනයි.
මේ කුරු ගස් ප්‍රබේදයන්ටද ස්වභාවයේ
හිමි යම් නිශ්චිත විශාලත්වයක් ඇත. අපට මේ කුරු ගස් ද එම ප්‍රමාණයට වඩා බොහෝ සෙයින්
කුඩා කර බොන්සායි නිර්මාණ බවට පත්කළ හැකිය.
එබැවින් ඒ ගස්වලින් බොන්සායි කළ නොහැකිය යන
අදහසක් මෙහි නැති වග යළි ද කියමි.
බොන්සායි කලාකරුවා සෑම විටම අභියෝගයක් බාර ගනිමින්,
අභියෝගය ජයගනිමින් අනතුරුව නිර්මාණයක් බිහි කරයි. බොන්සායි
යනු නොනිමි සහ නොමළ නිර්මාණයක් වන බැවින් නිර්මාණය කිරීමේ සේම එය පවත්වාගෙන යාමේ අභියෝගයද
ඔහු විසින් ජය ගනී.
කලාකරුවා නොවන ව්‍යාපාරිකයා අභියෝග බාර
නොගනී. පවතින දේම මදක් එහෙ මෙහ කර සිය මුදල්මය අදහස් මුදුන්පත් කර ගනී. එවිට එය
කලාවක් නොවේය, බොන්සායි ද නොවේය යන්නය මා
මෙහිදී කියන්නේ.
Fun bonsai ෆන් බොන්සායි යන අදහසක් මා මෙහි ලියා ඇත. එය මගේ
අදහසක් නොවේ. මා කියැවූ බොන්සායි පිළිබඳ
සාහිත්‍යයක මේ අදහස මීට වසර ගණන් පෙර සිට පවා සාකච්ඡාවට බඳුන් වී ඇත. ඒ අනුව බොන්සායි නිර්මාණ සේ පෙනෙන අයුරින් කරණ නමුත් සැබෑ බොන්සායි අරුත්ගැන්වීම තුළට ඇතුළත් කළ නොහැකි
නිර්මාණ හැඳින්වීමට සුදුසු නම බොන්සායි නොව, ෆන් බොන්සායි යන්න බව එහි යම් යම් තැන් වල සඳහන්ව
තිබිණ.
මේ අනුව මා පෙර කී ව්‍යාපාරිකයා කුරු
ගස් විශේෂ භාවිතා කරමින් ඒවා මදක් එහෙ මෙහ කර විකුණන්නේ ෆන්
බොන්සායි මිස බොන්සායි නොවේ. ඒවා මිලදී
ගන්නා අප බොන්සායි ලෝලියා දැනුමින් වැඩෙද්දී
තමන් නොවටිණා මිලක් දී ගත්තේ බොන්සායි නොව
මෙවැනි ෆන් බොන්සායි එකක් බව වටහා ගනී.
මේවාගේ සැලකිය යුතු වටිණාකමක් නැති
වුවත්, එහි වන යම් වටිණාකමක්ද වෙයි. එනම්, අර පුද්ගලයා ව සිය ආරම්භක සමයේදී
බොන්සායි කලාව සමීපයේ රඳවා ගන්නේ අර වැනි දේ නිසාවෙනි.
කෙසේ වෙතත්, මේ කුරු ගස් විශේෂ යොදා
ගනිමින්, ඒ කුරු ගස්වලටත් බොහෝ සෙයින් කුඩා පරිමාණයේ නිර්මාණ කරමින් ඒවාත් බොන්සායි කරණ ශිල්පීන් අප අතරද වෙයි. එවැනි
නිර්මාණයක දෙකක පින්තූර හැකියාවක් ලැබුනොත් මෙහි ඉදිරිපත් කරමි.
මේ වර්ගයේ කුරු ගස් ප්‍රබේද අපට එමට
සොයා ගත හැකිය. කුරු ඇට්ටේරියා, කුරු කොට්ටන්, කුරු
දෙළුම්, කුරු ඉද්ද යනු ක්ෂනිකව මතක් වෙන උදාහරණ කිහිපයකි. මේවාගේ කුරු ප්‍රබේදයන් සාමාන්‍ය ගසට වඩා බොහෝ
සෙයින් කුඩාය. එබැවින් ඒ කුරු ගසක් ගෙන එලෙසින්ම බොන්සායි බඳුනක සිටවූවාට ඒවා බොන්සායි දෙළුම්, බොන්සායි ඇට්ටේරියා, බොන්සායි ඉද්ද,
බොන්සායි කොට්ටන් වෙන්නේ නැත. ඒවා උවමණාම නම් ෆන්
බොන්සායි කැටගරියට ඇතුළත් කළ හැක්කේද කල්පනා කොට ය.
නමුත් මේ කුරු ප්‍රබේදයන්ම ඊට වඩා
අතිශය කුඩා මැමි බොන්සායි වැනි නිර්මාණයන්ට යොදා ගත හැකි වන්නේ එවිට ඒවා බොන්සායි ලෙසින් හැඳින්විය හැකිය.
කෙසේ වෙතත්, ෆන්
බොන්සායි යනු බොන්සායි අර්ථකථනයට හසු
නොවුණත් නමුත් බොන්සායි ගසක හැඩ හුරුකම්
පෙන්වන බැවින් බොන්සායි ගසකින් දෙන හැඟීමම
නොවුණත් යම් එවැනි හැඟීමක් දෙන ලෙස නිර්මාණය කළ ඒවාය. මේවා බොහෝ විට බොන්සායි සඳහා ගැනෙන කාශ්ඨීය ශාක නොවේ. සමහර විට ක්‍රෝටන් වර්ග, ජපන්
අරලිය වර්ග, උණ වර්ග, මඩු වර්ග, කෝප්ප කොළ ගස්
ප්‍රබේද වැනි ඒවා වේ.
කොකෝ බොන්සායි යනුවෙන් අදහසක් අප බොන්සායි ගැන හොයා බලන්නට පෙළඹුනු කාලයේ නොවුණි. එහෙත් මෑත කාලයේ එවන් නිර්මාණ ද එළිදැක්වෙන බව පෙනී යයි. මගේ අදහස නම් නියම බොන්සායි අරුත්ගැන්වීමට ඒවා ඇතුළත් කළ නොහැකි බවයි. නමුත් බොන්සායි කලාවේ යම් යම් මූල ධර්ම යොදා ගනිමින් කරණු ලබන මේ නිර්මාණ වල සිත් ඇදගන්නා සුළු වැදගත්කමක් වෙයි. එහෙත් සැබෑ බොන්සායි වලට ප්‍රියකරන්නෝ මේවාට එතරම් ප්‍රිය නොවන බව මම දනිමි. එසේ වූවා කියා ඒ කලාව නොපැවතිය යුතුය යන අදහසක් නොවෙයි මේ.
බොන්සායි කලාවේදී බොන්සායි විවිධ ප්‍රමාණයන්ට අනුව ඛාණ්ඩ කළත් මේ සීමාවන් ඉක්මවා යන එහෙත් බොන්සායි කලාවේ මූල ධර්ම බොහෝ දුරට භාවිතා කරණ අවස්ථාවන්ද වෙයි. සාමාන්‍යයෙන් විශාල ප්‍රමාණයේ බොන්සායි ගසක උපරිම උස අඟල් 48ක් හෝ අඟල් 60ක් ලෙස හෝ සලකන අවස්ථා හමුවේ. මේ අනුව මින් එහා උසක බොන්සායි ගැන සාම්ප්‍රදායික බොන්සායි කලාව හා සම්බන්ධව අතීතයේදී සාකච්ඡා නොවේ. එහෙත් අතීත උද්‍යාන කලාවේදී පවා බොන්සායි නමින් නොවී ස්වභාවයේ පවතින ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් කුඩා නමුත් බොන්සායි වලට වඩා විශාල නිර්මාණ අපිට හමුවේ. කෙසේ වෙතත් වත්මනේ දී උද්‍යාන අලංකරණයේදී කුඩා ඉඩකට සරිලන ලෙස නිර්මාණයන් කරද්දී පරිසරයේ රූස්ස ගස් බොන්සායි අරුත්ගැන්වීම් වල ඇති සීමාවන්ට වඩා විශාල නමුත් ස්වභාවයේ පැවැත්මට වඩා අතිශයින් කුඩා නිර්මාණ කරන්නට සිදුවන අවස්ථාවලදී ඒවා ගාර්ඩ්න් බොන්සායි නැති නම් උද්‍යාන බොන්සායි ලෙසින් බොන්සායි වර්ගීකරණයට නව ඛාණ්ඩයක් එකතු ව ඇත. නැති නම් එකතුවීමේ දොරකඩටම ළංව ඇත. මේ සඳහා භාවිත මූල ධර්ම බොහෝ සෙයින් සමාන වන නමුත් යොදා ගන්නා බඳුන් සාමාන්‍ය බොන්සායි බඳුනකට වඩා ප්‍රමාණයෙන් වැඩි එකක් වෙයි.
බොන්සායි හදාරද්දී, ෆන් බොන්සායි, කොකෝ බොන්සායි සහ ගාර්ඩ්න් බොන්සායි ආදිය ගැනද දැන සිටීම වැදගත් බව දැන් ඔබට වැටහෙනවා ඇත.
මේ වගට,
-
යසනාත් ධම්මික බණ්ඩාර -
ඉතාමත් වටිනා ලිපියක් share කරන්නට බැරිවීම නිසා වැඩි පිරිසක් වෙත යාම වලකි
ReplyDeleteවලකි
FFacebook හි පලකරන මෙන් කරැනිකව ඉල්ලා සිටිමි
කිසියම් හේතුවක් නිසා ෆේස්බුක් එය ෂෙයාර් කිරීම ප්‍රතික්ෂේප කරණවා. හේතුව විමසුවාට පිලිතුරක් ලැබුණේ නැහැ. සමහර පින්තූර වලට කොපි රයිට්ස් තියෙනවාද දන්නේ නැහැ. මම පින්තූර වෙනස් කර බලන්නම්.
ReplyDeleteක්ෂණික බොන්සායි කලාවෙන් බොන්සායි ලෝලියා බේරාගැනීමට වටිනා ලිපියකි
ReplyDeleteස්තූතියි
ReplyDelete