1. වතගොත






බොන්සායි යනු කුමක්ද?

සරලම අරුතෙන් ගතහොත් බොන්සායි යනු බඳුනක සිට වූ ගස යන්නයි. එහෙත් ඊට වඩා පුළුල් අරුතක් එහි වෙයි. එය එක් වරම ඔබට සංවේදනය කළ නොහැකි වනු ඇත. නමුත් ක්‍රමයෙන් දැනෙනු නිසැකය.

යම් වෘක්ෂයක් බඳුනක සිටවා, එය එහි ස්වභාවයේ තරමට වඩා බොහෝ සෙයින් කුඩා වන අයුරින් හැඩ ගැස් වූ එහෙත් ස්වභාවයේ පවතින වැඩුණු මෝරපු වෘක්ෂයක පෙනුම ඊට ලබා දෙන කලාව බොන්සායි යනුවෙන් හඳුන්වන්නෙයැයි කිවහොත් එය පෙරට වඩා පුළුල් අරුතක් ගෙන දෙන්නක් වෙයි.

මේ ප්‍රමාණයෙන් කුඩා බවට නැති නම් කුරු ගසක් බවට පත් කිරීම හාස්කමකින් සිදුවන්නක් හෝ ඉන්ද්‍රජාලයකින් කළ දෙයක් හෝ එම ශාක විශේෂයෙහි යම් කුරු ප්‍රබේදයක් හෝ නොවේ. එය ස්වභාවයේ පවතින ශාකයම විවිධ උපක්‍රම භාවිතයෙන් කුරු ගසක් බවට පත් කිරීමකි.

එහෙත් එම කුරු ගස ස්වභාවයේ ඇති වෘක්ෂයේ අලංකාරවත් බවද, දැවැන්ත බවේ ගම්භීර අදහසද අප වෙත නොඅඩුව දසුන කරවයි.

නොගැඹුරු කුඩා බඳුනක් භාවිතය, මුල් සහ අතුපතර කප්පාදුව, වර්ධනය වන පාංශු මාධ්‍යයේ යම් වෙනස් කිරීම් සහ සීමා කිරීම් මේ සඳහා භාවිත මූලික උපක්‍රමයන් වෙයි. එහෙත් මේ කියූ අවශ්‍යතාවන් සැපයූ පමණකින් අලංකාරවත් බොන්සායි නිර්මාණයක් අප හට නොලැබෙයි. 

එය රඳා පවතින්නේ අදාල කලාවේ නියුතු පුද්ගලයාගේ දැඩි කැපවීම මතයි. ඔහුගේ නිර්මාණශීලීත්වය මතයි. ඔහුගේ අත් ගුණය මතයි.

ස්වභාවයේ පවතින් මහ විසල් ගසක ස්වරූපයෙන්ම කුඩා බඳුනක එම වර්ගයටම අයත් වෘක්ෂයක් පවත්වාගෙන යා හැකිය යන මතය පළමුවෙන්ම පිළිසිඳගත්තේ කාගේ චිත්තයෙහිදැයි යන්න කිසිවෙකු නොදනී. එහෙත් එම කලාව වසර 2000ක පමණ කාලයක සිට චීනයෙහි පැවැති බවට සාධක හමුවෙයි. බොහෝ විට පෞරාණික වටිණාකමකින් යුත් සිතුවම් වලද, සමහර පිඟන් භාණ්ඩ ආදියෙහිද ඇඳි බොන්සායි ශාක අනු රූ හමුව තිබීමෙන් මේ බව තහවරු වෙයි.

බොන්සායි කලාවට උපත දීමේ ගෞරවය චීනුන්නට ලැබිය යුත්තේ වුව, අද පවතින දියුණු තත්ත්වයෙන් එම කලාව පවත්වා ගැනීමේ ගෞරවය ලැබිය යුත්තේ ජපනුන්ටය.
ජපනුන්ගේ බොහෝ සංස්කෘතික හර පද්ධතීන් සඳහා චීනුන්ගේ සෙවනැල්ල අතීතයේදී වැටී තිබුණි. ඔවුහු චීනුන්ගෙන් උගෙන හෝ චීනුන් දෙස බලාගෙන හෝ ඒවා ආබාසයට ගැනීම, පවත්වාගෙන යාම සහ වර්ධනය කිරීම කළහ. මේ බොන්සායි කලාවද ඒ අනුවය. එය කොතෙක්ද යත්, චීනුන් බොන්සායි යන්න ලිවීම සඳහා භාවිතා කරණ අක්ෂරයන්මය ජපනුන්ද ඒ සඳහා භාවිතා කරන්නේ. එහෙත් කල් ඇවෑමෙන්, ජපනුන් සහ චීනුන් අතර පැවැති මේ සහ සබැඳියාව බොහෝ සෙයින් දුරස් විය. එයට හේතු සෙවීම වෙනම කරුණකි.

ජපානයේ බොන්සායි යන්න චීනයේදී කියැවෙන්නේ පුන්සායි ලෙසිනි. එහෙත් බොන්සායි සහ පුන්සායි යනු එකම අරුත දෙන වදන් දෙකකි. එපමණක් නොව චීන පුන්සායි යන්නටද ජපන් බොන්සායි යන්නටද භාවිතා වන්නේ එකම අක්ෂරයන්ය.

Bon – නොගැඹුරු බඳුන
Sai - ගස



චීන්නුන්ගෙන් ජපනුන්ට මේ කලාව ගලා යන්නේ 11වන සියවසෙදීය. එම කලාවටද, එකී ගස් වලටද පුන්සායි වෙනුවට බොන්සායි යනුවෙන් අප කියන්නේද එතැන් පටන් ය.

අනතුරුව යුරෝපයටද, යුරෝපයෙන් ඇමරිකාවටද ආදී වශයෙන් සෙසු රටවල් වලටද මෙම කලාව ව්‍යප්ත විය.

මතු දැක්වෙන්නේ ජපානයේ බොන්සායි නිර්මාණ එකතුවකින් කිහිපයකි.






















ශ්‍රී ලංකාවේද මේ ක්ෂේත්‍රෙය් නිපුණ ශිල්පීන් ද ඔවුනගේ වෙසෙස් නිර්මාණද අපට හමු වෙයි. කෙසේ නමුත් මෙරටට පැමිණ වසර ගණනක් ගතව ඇත්තේ වුවද, තවමත් එම කලාව කිසියම් සීමිත පිරිසක් අතරේ පමණක් පවතින්නක් වෙයි. එයට ප්‍රියයන් යම් පමණක් මෙහි සිටිය හැකිය. එලෙසින්ම දකින්නට දකින්නට තවත් ප්‍රියයන් එක් වනු ඇත. එහෙත් ඊට සමගාමිව එහි නියැලෙන්නන් එක් වීම අතිශය මන්දගාමීය.

එහි නියැලෙන්නන්ගෙන් සමහරෙක් වුව, බොන්සායි යන්නෙහි නියමාර්ථය දැන එහි නියැලෙන්නේද යන පැණය ඇති වන අවස්ථා ඔවුනගේ එකී නිර්මාණ දකිත්දී ඇති වේ. මේ කෘතිය එකී කලාව යම් මට්ටමකට මේ භූමියේ පුළුල්ව පැළ කිරීම සඳහා අරමුණු පෙරදැරි සීමිත ප්‍රයත්නයකි.


බොන්සායි කුමකටද?

මේ බොන්සායි ගසක් දුටු විට ඔබ තුළ මහත් උනන්දුවක් ඇල්මක් ඇති වන්නේ ඇයිද යන්න පිළිබඳ ඔබ මොහොතක් හෝ සිතුවාද? බොන්සායි ගසක් සාපේක්ෂව වෘක්ෂයක් සමග වඩාත් ළංව ගනුදෙනු කිරීමේ අවස්ථාව ඔබට ලබා දෙයි. ඔබට එය නිරන්තරයෙන් දකිමින් ඒ පිළිබඳව මනා අවබෝධයක් ලැබීමට හැකියාව පවතියි. බොන්සායි ශිල්පීන් සිය බොන්සායි ශාකයේ අවස්ථාවන් ඉතා හොඳින් හඳුනා ගනී. එය පරිසරයේ වැවෙන ශාකයන් කෙරෙහි වගා කරුවන් තුළ වන හඳුනා ගැනීමට වඩා වැඩි යමක් වෙයි. තමන් එයට කරණා කිසියම් වෙනසක් කෙරෙහි එය දක්වන ප්‍රතිචාර කෙරෙහි අවබෝධයක් ඔහුට වෙයි. එබැවින්ම වඩාත් යහපත් ප්‍රතිචාර සඳහා කළ යුත්තේ කුමන අයුරේ දේද යන්න ගැන ඔහු තුළ වැටහීමක් වෙයි.

බොන්සායි සම්බන්ධ විවේචකයින් ගේ ප්‍රකටම අදහසක් වන්නේ බොන්සායි යනු සොබා දහම දූෂණය කිරීමකියි යන්නය. එහෙත් ඒ එවන් අය ඒ පිළිබඳව නිසි අවධානයක් නොදැක්වූවන් වෙයි.

ඔවුනට අනුව නම් ඉතා කුඩක් ඉඩක් දී, නිසි අහර, ජලය ආදිය ලබා නොදීම නිසා ශාක කුරු වේ යන්නයි. බොන්සායි ශාක පවත්වාගෙන යන්නේ කුඩා බඳුනක බව නම් සැබෑය. නමුත් ගසකට හිමි විය යුතු ප්‍රශස්ථම තත්ත්වයන් මැදය. 

ඒවා ඉතා හොඳින් රැක බලා ගනී. කිසියම් කෘමි උවදුරක්ද, උෘනතා රෝගයක්ද ඒ සියල්ල කළින්ම දකී. කළින්ම පිලියම් යෙදෙයි. ප්‍රශස්තම ජල සැපයීමකට සහ ආහාර මැපයීමකට එය උරුම කම් කියයි. සිය මූල මණ්ඩලයට ගැල පෙන ලෙසටය එහි අතු පතර ප්‍රමාණය පවත්වාගෙන යනු ලබන්නේ. එ් සඳහා නිරන්තර අතු පතර කප්පාදුවද මූල මණ්ඩල කප්පාදුවද, තඹ හෝ ඇළුමිනියම් කම්බි මගින් අතු පතර අවකාශයේ විහිදවීම සහ හැඩ ගැස්වීමද සිදු කෙරේ. පරිසරයේ තිබෙන වෘක්ෂයන් බොහෝ විට නිරන්තර කාලගුණික විපර්යාසයන්හි ප්‍රහාරයට ලක් වෙයිත එහෙත් බොන්සායි ගසක් සෑම චදාම සුදුසුම පරිසර තත්ත්වයන් ලබයි.

පරිසරයේ ගසක් බොන්සායි ගසක් සඳහා තෝරා ගෙන යොදා ගන්නා මුල් අවධියේදී යම් අභියෝගාත්මක කාල තරණයකට යොමු වෙයි. එහෙත් ස්වභාවයෙන්ම ගසකට එවන් තත්ත්වයන්ට හැඩ ගැසීමේ හැකියාව දී ඇත. ඒ මූලික හැඩ ගැසීම සිදුවීමෙන් අනතුරුව ඒ අසීරු කාලය යළි එයට පැමිණෙන්නේ නැත.


බොන්සායි යනු කලාවකි.

මේ පිළිබඳව මීට පෙරද යම් ඉඟි කිරීම් කෙරුණි. එනම් බොන්සායි නිර්මාණ, බොන්සායි ශිල්පීන් වැනි වදන් භාවිතා කෙරුණි. එමෙන්ම බොන්සායි ගසකට අවැසි සියළු තත්ත්වයන් ලබා දුන්නද එය නියම බොන්සායි ගසක් බවට පත්වෙන්නේ ශිල්පියාගේ නිර්මාණාත්මක සිරස සහ අත් ගුණය මත බව පැවසීමු. ඒ අනුව එය නිර්මාණයක් විය යුතුය. නිර්මාණයක් යනු කලා කෘතියකි.

චීනයෙහි බොන්සායි හඳුන් වන්නට නිහඬ කවි යන වදනද යොදා ගෙන ඇත.

ගල් වඩුවෙක් දළ ගල් කුටිටියක් ගෙන සිය ගල් කටුවයි මිටියයි ගෙන එය ඔප මට්ටම් කොට හැඩ කොට යම් පිලිමයක් නෙළන්නේ යම් සේද බොන්සායි ශිල්පියාද තමන්ගේ බොන්සායි ගස හැඩගස්වන්නේ ඒ ලෙසටය. නමුත් එහි මූලික වෙනසක් වෙයි. ගල් පිලිමයට පණ නැත. බොන්සායි ගස ජීවත් වෙයි.

ඊ ළඟට අනෙක් කලා නිර්මාණයන් සමග මෙහි වන බරපතල වෙනසක් ද වෙයිත ඒ අනෙක් නිර්මාණයන් නිම කළ ඒවාය. බොන්සායි යනු එහි ජීවය තිබෙන තාක් කල් නොනිමි නිර්මාණාත්මක හැඩ ගැස්වීමක් අවැසි කලා කෘතියක් වීමයි. කෙසේ වෙතත්, මේ බොන්සායි නිර්මාණ අතුරින් අග්‍රගන්‍යෙය් නිර්මාණ බවට පත් වෙන්නට හැම බොන්සායි නිර්මාණයකටම අවස්ථාව ලැබෙන්නේ නැත. 

බොන්සායි නිර්මාණකරුවා යනු මිනිසුන් තිදෙනෙකුගෙන් සැදුම්ලත් මිනිසෙකි. ඔහු තුළ අත්කම් ශිල්පියෙක්, 

උද්‍යානකරුවෙක් 

සහ 

කලාකරුවෙක් 

ජීවත්වෙයි.

සැකසුම
- යසනාත් ධම්මික බණ්ඩාර -

4 comments:

  1. Great work and thanks for your effort to sharing the knowledge with others. Wish you all the best for your bonsai journey !

    ReplyDelete
  2. The best no deposit casinos in the UK
    No luckyclub.live deposit casino bonuses for UK players. We provide a selection of the top real money casino games and All new players only, and new casino games only, have

    ReplyDelete

Tamarind - සියඹලා බොන්සායි

Tamarind - සියඹලා බොන්සායි   Tamarind - සියඹලා බොන්සායි කලාව සඳහා යොදා ගනු ලබන සුවිශේෂ ගසක්. මෙහි සමහර ලක්ෂණ නිසාවෙන් බොන්සායි කලාව ...